Thursday, July 28, 2016

ලා දළු බෝ පත්..විශ්වීය ප්‍රේමයක සමුගැන්මේ සටහන..

බෞද්ධ සාහිත්‍යයේ එන මා සිත කම්පනයට පත් කල කාන්තා චරිතය යශෝධරාව බැවු මා හට නිසැකය.
ඒ ඇය වූ කලී අභිඤ්ඤා ලාභීනියක් නිසා හෝ බෝසතුන්ගේ අප්‍රමාණ සහායිකාව වූ පමණින් නොවේ.
මහපොළව කම්පා කලහැකි ඇගේ නිකැලැල් ආදරයක හා කැපවීමක විසල් පරිමාව පෘතත්ජන මගේ ඕලාරික මනසට දරා ගත නොහැකි බැවිනි.
සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් ඇය බෝසතුන් හා මේ රුදුරු සසර ගමන් එන්නීය. මොහොතක් සිතන්න බෝසතුන් දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබන විට ඇයට තෙරුවණ් සරණ  ලැබී නම් ඒ ආත්මබැවුම ඇයට සසර ගමන කෙලවර කරන්නට තිබුණි එහෙත් ඇය බෝසතුන් ගෞතම නමින් බුදුබව ලබන තෙක්ම සෙවනැල්ල මෙන් පසුපස එන්නීය. බෝසතුන්ගේ සියලු පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා පුරන්නට ඇයගේ දරුවන් , ඇස් ඉස් මස් ලේ සියල්ල දන් දෙන්නීය. තම සැමියාගේ උත්තරීතර පරමාර්ථය වෙනුවන් ඈ සතු සියල්ල කැප කරන්නීය.


ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...

අවසන, ගිහිගෙය හැර ගිය තම හිමිට බැල්මකනිදු නෝක්කාඩුවක් නොකියන්නට ඇය වගබලා ගනී.
යසොදරාවත ඒ වූ ගුණ මෙසේ පවසයි.

මොක් සැප පතා වසනා ලෝ සතා සිතා
දුක් දැක සසර ආළය හළ හොතා යුතා
දුක් ලැබ නෙ දන රැස් කරනා සිතා යුතා
දුක් කර කල් නොයිඳ පින් කල යොතායුතා

අසමින මේ දහම් අඟනෝ ගෙන සිත ට
යටැසින රවා වත් නො බලා තම හිමි ට
වසමින රන් රස සෙ එකඟින අදර කො ට
උපදිනු යසෝදර බිසවුන් ලෙස සොඳ ට

මෙවූ කාරණා සියල්ලට අතර මා සිත ප්‍රකම්නය කරනුයේ මහ රහත්  මෙහෙණියක් වූ ඇයගේ ජීවිතයේ අවසාන දින ගැන කියවෙන ථේර ආපදානයේ එන ඒ කොටස් වල සිංහල පරිවර්තනය කියවන විටය. (එහිලා පූර්ණ ගෞර්වය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට හිමිවිය යුතුය). අවුරුදු 78 ක මහළු වියේ පසුවන ඇය තථාගතයන් වහන්සේ ජීවමානව සිටිද්දී පිරිනිවන් දකින්නට තීරණයකට එලඹෙනවා. භව නෙත්තිය මුලිනුපුටා දැමූ ඇය වන් රහත් තෙරණියකගේ  සිතක අපේ කිලිට් සිත් වල මෙන් කෙලෙස් පහල නොවූවද ඒ අකිරිය සිත් කමපාවට පත් නොවීයයි මට සිතෙන්නේ නැත. කල්ප ලක්ෂ ගනනක  අප්‍රමාණ ප්‍රේමයක සිත් පරම්පරාවන් කොතරම් ඇත්දැයි මට සිතේ. පහණක් සේ නිවී යන්නට අවසර පතන යශෝධරාව..

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ..

මේ ඇය සසර අවසන සමුගැන්මය අවසර පතන අයුරුයි..
[උපුටනය]
"ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ජීවිතයේ අවසාන භාගයට මම මේ පැමිණ සිටින්නේ. මහ වීරයන් වහන්ස, “මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සංසාරය පුරාවටම මම ඔබ වහන්සේ සමඟ මේ ගමන ආවා. ඔබවහන්සේ ගැන මගේ සිත කය වචනය තුළින් යම් වරදක් වූවානම් ඒ සියලු වරදට මට සමාව ලැබේවායි"

එවිට තථාගතයන් වහන්සේ වදාළා යශෝධරා ඔබ තථාගත ශාසනයේ අනුශාසනා අනුව කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන් අවබෝධ කළ තැනැත්තියක්ද කියා මේ සිව්වනක් පිරිසේ කාටහරි යම් සැකයක් ඇතිවුනානම් ඒ සැකය නැති කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර දක්වා පෙන්වන්නැයි වදාළා.

එවෙලෙහි යශෝධරා තෙරණිය පවසනවා ‘මහවීරයන් වහන්ස ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රි ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මම යශෝධරා වෙමි. ගිහි ගෙයි දී ඔබගේ බිරිඳ වී සිටියෙමි. මහ වීරයන් වහන්ස, මම එක්ලක්ෂ අනූසහසක් කාන්තාවන්ට නායිකාව වී සිටියා. මේ ලෝකයේ සුන්දරත්වය තුළ තථාගතයන් වහන්සේ හැරුණු කොට සුන්දරම අග්‍ර රූපයෙන් යුක්ත වූයේ මායි’.

ඒ වගේම කියනවා මහ මුනින්ද්‍රයන් වහන්ස, දිව්‍ය ශ්‍රවණයෙන්ද අනුන්ගේ සිත් දක්නා නුවණින්ද පෙර විසූ කඳ පිළිබඳ දක්නා නුවණින්ද දිවස් ඤාණයෙන්ද යුක්තවූ ෂීනාෂ්වර තැනැත්තියක් වෙමි. මම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන පටිසම්භිදා ඤාණය ඔබවහන්සේගේ ශාසනය තුළින් ලැබුවෙමි. ඒ නිසා මහ වීරයන් වහන්ස මා විසින් බොහෝ පින් රැස්කර ගත්තා. මා විසින් අනාචාරය දුරුකොට ඔබවහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජාකළා. කල්ප දහස් ගණන් ඔබවහන්සේ පාරමි ධර්ම පුරද්දී මම බිරිඳ වෙලා හිටියා. ඒ බොහෝ අවස්ථාවලදී මාව දන් දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මම ද්වේෂ සහගත සිතක් ඇතිකර ගත්තේ නැහැ. මහ මුනින්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ පාරමි පුරද්දී නොයෙක් කල්ප ගණන් සිය දහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවලදී යක්ෂ රාක්ෂයන්ට මාව දන් දීල තිබෙනවා. ඒත් මම කිසිම අවස්ථාවකදී ඔබවහන්සේ කෙරෙහි නපුරු සිතක් ඇතිකර ගත්තේ් නැහැ. නොයෙක් අවස්ථාවල දී මගේ ජීවිතය මම ඔබහන්සේ උදෙසා පරිත්‍යාග කොට තිබෙනවා. සිංහයන්, ව්‍යඝ්‍රයන්ගෙන් කරදර වූ අවස්ථාවලදී ඔබ වහන්සේගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා.

මේ විදිහට සංසාර ගමන මතක් කරමින් නැවත වදාළා ඔබ වහන්සේ සම්බුද්ධත්වය උදෙසා පාරමි පුරද්දී යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ශරීරයේ තිබුණු සියලු වස්ත්‍ර ආභරණ සියල්ලම නොසඟවා ඔබවහන්සේ ඉදිරියේ තමා ‘ස්වාමිනි මෙයත් පූජා කරන්න’ කියා කිව්වා.

කෙත්වතු, දූ පුතුන් සියල්ල, පරිත්‍යාග කරන කල්හි ගණන් කළ නොහැකි ප්‍රමාණයේ අත්, අස්, ගව, මහේෂ්‍ය ආදී සේවකයෝ ද ඔබවහන්සේ බුදුබව පිණිස පූජාකරන කල්හි ඒ සියල්ලටම මමත් එකඟ වුණා. යාචකයන්ට දන් දෙමියි ඔබවහන්සේ මට යම්කිසි බසක් පැවසුවාද මමත් ඒ සඳහා සූදානම් වෙලා හිටියා. මගේ සිතේ ඒ සඳහා කිසිදු දොම්නසක් හට ගත්තේ නැහැ. මහ වීරයාණන් වහන්ස, ඔබවහන්සේ පාරමි පුරද්දී විවිධ ජාතිවල බොහෝ දුක්පීඩා වින්දා. ඒත් කවදාවත්ම මම ඔබ වහන්සේ කෙරෙහි දොම්නසක් ඇතිකර ගත්තේ නැහැ.
[උපුටනය අවසන්]

කෙතරම් නිරාමිස , වීතරාගී නිවුනු සමුගැන්මක්ද.. කරුණාරත්න දිවුල්ගනයන්ගේ ලයාන්විත හඬ පසුබිමින් මුසු වූ විට මේ සමුගැන්ම ඔබේ නෙත් කඳුලින් පුරවන්නට සමත් වුවහොත් පුදුම නොවන්න. මේ විශ්වීය ප්‍රේමයක සමුගැන්මේ සටහනයි..


Tuesday, March 11, 2014

නුඹට රිසි නම් යන්ට යන්නෙමි...



අහස ගුගුරා..
අකුණු පුපුරා..
මගේ හිත වැන්දඹු වුනා..

හිමි හැර යන ගැහැණියකගේ හඬාවැටෙන සිතක සිතුවම
මොනවට කියාපාන මේ ශෝකී පදපෙලේ භාව රසය ඔප් නංවන්නට
නන්දාමාලනිය නොඅඩුව හඬ සපයන්නීය..

ගිගුරුම මුලින්ද..අකුණ පසුවද පැමිණියද..
ඈ ගතින් තවමත් පතිනියයි..සිතින් වැන්දඹුවකි..

වසා ගන් දොර මගේ හිමියනි.
නුඹට රිසි නම් යන්ට යන්නෙමි

නෝක්කාඩුවෙන් දොර වසන්නට පැවසුවද ඔහු තවමත් ඇයට "මගේ හිමිමය"..
යන්ට යන්නේ ඔහුට රිසි නිසා මිස ඇයට රිසි නිසා නොවේ..

කාලයක් නැති
තාලයක් නැති
විජිතයේ කටු ඔටුණු හැර යමි

කාලයක් නැත්තේ කුමකටද?
තාලයක් නැත්තේ කුමකටද?
ඇයට හිමි ඔහු නම් විජිතය අද කටු ඔටුණ්නකි.

කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි.

ව්ජිතය දිග්විජය කෙරූ කල
මතකය පවා රැගෙන යන්නේ අවසර ඇතිවයි..

බැන්ද රන් දම්
මගේ ගෙල වට
මුදා විසිකොට
හඬන අහසට

රන් දම් විසි කරණුයේ මොහොතකට පෙර
ගුගුරා..අකුණු පුපුරා ගිය..මේ දැන් හඬන අහසටමය..
අහස නම් වූ ඇගේ සිත..

මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි

නිධන් කරනුයේ වටිනා දෑය..
නැවත ගනු පිණිසය..
ඇගේ සිහිනයේ ඔහු නිධන් වන්නේ..?

මිහිපිට ආලකමන්දාවේ කුරුටු ගී ලීවේ
විජුලතා.. මේඝලතා..වැණීමටය..
ඇය කුරුටු ගී ලියනුයේ..

හිතකින් යන ගමනක් නොවේ..
නුඹට රිසි නම් යන්ට යන්නෙමි...














"අග පිපි මල්" ටෙලි නාට්‍යය
ගායනය - නන්දා මාලිනී
සංගීතය - නදීක ගුරුගේ
පද රචනය - සුම්ත්‍රා රාහුබද්ධ

Wednesday, August 14, 2013

අජානීය ස්කූටර්..උදුම්බරා මල හා සුදු අරලියා මල..

විරහව ගීය සඳහා අද ඊයේ මාතෘකාවක් වූවක් නොවේ..මෙහි කියවෙන ගීතයත් විරහවම මූලය කර ගත්තක වුවද අනෙක් බොහෝමයක් විරහ ගී වලට වඩ මා මෙහි දුටු විශේෂතා කීපයක් කරණ කොට ගෙන ගීය වනන්නට සිත් වුනි. ගියේ පද අතරින්ම එවා උලුප්පා දැක්වීම යෙහෙකියි සිතෙන බැවින් මෙතැන ඒ මොනවාදැයි නොපවසන්නෙමි.
                                         
අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා..
කුමාරියන් වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..

මෙහි රචකයා විරහවේ එක් පාර්ශවයක් සඳහා ආරෑඩ වන අතර..
ගීය ආරම්බ වන්නේ පීක් පීක් හඬ දෙකක අතරින් මොටෝසයිකලයක  හඬ පසුබිමිනි..
ඒ අනුව මොටෝසයිකලයක ගමනක් යන කෙනෙක් ගැන ගීය ඉඟි කරයි..
එසේ මෙසේ එකක් නොව අජානීය ස්කූරටයකි.
බොදු සාහිත්‍යයේ එන පරිදි අජානීය යනු අශ්ව කුල වල ඉහල තලයේ කුලයකි..
රචකයා මේ සුපිරි ස්කූටරය අජානීය අශ්වයෙකුට උපමා කරමින් කතාවට ඇරඹුම සටහන් කරයි..
කුමාරියක් වාත වේගයෙන් ඉගිලෙන අතර
අජානීය තුරඟා පදවන තම හිමියන්ගේ දෙඋරහිසට වාරු ගෙන
සිරි නරඹන අයුරු රචකයා විස්තර කරයි.

එ බැල්මේ සාඩම්බරය ඔහු දකී..විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
ඇය සිතා සිටින්නේ රාජිනියක් කියාය..බැල්ම ඒ තරම් සාඩම්බරය..
ඒ සාඩම්බරයම එහි අවසානය වේ දැයි රචකයාට සිතෙයි..

සූ සැට ශිල්පය උගෙනා.
පාර ගතව ගියෙනා..
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා..
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා..

රචකයා උගතෙක් බව කියාපායි එහෙත් ඔහු රැකියා විරහිත බැවින්
පාරට වැටුනු බව කියයි...දැන් ඔහු මහපාරේ කම්කරුවෙකි..
උදැල්ල ඔහු අත තිබේ..දහදියෙන් සිරුර නැහැවී තිබේ ..
මේ දැක කෙනෙක් උපහාසයෙන් සිනා නගයි..අත රැඳි 
ලේන්සුවෙන් නහය වසා ගනී..අවාසනාවකට මේ පෙර කල ඔහුගේ පෙම්වතියයි..

සදාකල්ම පෙම්වතුගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..

පෙම්වතුන් සිහින පුරා පිපෙන පුෂ්පයක් ගැන පවසන රචකයා
එහි වූ අසදෘශ බව උපමාවකින් පැහැදිලි කරයි..
උදුම්බරා පුෂ්පය බොදු සාහිත්‍යයේ හැඳින්වෙන්නේ
ඉතා දිගු කලකින් පිපෙනා දැකීමට ඉතා දුර්ලබ අලංකෘත පුෂ්පයක් ලෙසයි..
පිපුනු විට යොදුන් ගනන් සුවඳ විහිදුවන්නකි...
සැබෑ ආදරයේ දුර්ලබ බව සරල නමුත් ප්‍රතයක්ෂ ලෙස රචකයා පවසන අපූරුව...

 උදුම්බරා
රෑ තුන යම සුවඳ උලා උදෑසනින් කෙලෙසකවත් එවැන්නක් පිපෙන්ට අපහසුය..
එසේනම් එලෙස සුවඳ මැකී යන්නේ බොරු උදුම්බරාවන්ය..
එනම් මේ කුමරිය එවන් හදිසි මල් පුබුදන්නියක් බව නොකියා කියන්නට
රචකයා දකවන සමත්කම උත්කෘෂඨ නොවේද..

ඔහු එවන් මලක අහිමි කරුවෙක් බව කියමින් ..ඒ කුමක් වුවත්
ඇයට එ මලින් අඩුවක් නොවෙන්නට යයි පතයි..

"කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා.."

මා මුලින් කීවාක් මෙන් මේ විරහ ගීයේ ඇත්තේ විලාපය නොවේ..
ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම සහ සියුම් උපහාස රසයක් මේ පද අතරින් මතු කරන්නට
රචකයා සමත් වෙයි..

සුදු අරලියා මලේ හා..උදුම්බරා මලේ වෙනස අහසට පොලව වැනි යයි මට සිතෙන්නේ එබැවිනි..

ගීය නිම වන්නේ මොටොසයිකලයේ ඇන්ජිම නවතින හඬත් සමගය..



Saturday, July 21, 2012

"ස" ගී කෙත පුරන් වන්නට හරිනු දුටුවෙමි…

මා සුභාවිත ගීතයෙහි ඇලුනේ අද නොවේ අමරදේවයන්ගේ "මින්දද හී සර" "කුමරියක පා සලඹ සැලුනා.." මා ඒ මාවතේ කැන්දාගෙන ඒමට පාර කැපුවෝය.. වික්ටර් රත්නායකයන්..සුනිල් එදිරිසිංහයන් , නන්දා මාලනිය..මා තව තවත් එහි ගැඹුරටම කිමිදීමට බල කලෝය. ශබ්ධ රසය ගීයක් විශයෙහි මහත් බලපෑමක් ඇති කරයි..නමුදු සුභාවිත ගීයෙහිදී අර්ථ රසය ශබ්ධ රසය පරදා නැගෙන බව මගේ හැඟුමයි. එයිනුදු සිහල ගීතය තුල අමරදේවයන්ගේ,නන්දා මාලනියගේ,වික්ටර් රත්නායකයන්ගේ,සුනිල් එදිරිසිංහයන්ගේ එයිනුදු නොනැවතී කරුණාරත්න දිවුල්ගනේ දක්වාම දිව එන විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවේ ගැයෙන් පද වැල් උක්ත කරුණට දෙස් දෙයි. එය හුදෙක් ගායකයාගේ හෝ ගායිකාවගේ වික්‍රමයක්ම නොව පද රචකයාද එහි ලා මහත් කාර්යයක් ඉටු කරනු ලබයි. නමුදු ගායකයා හෝ ගායිකාව එක කරන භාව දීප්තිය නොවන්නට මෙවූ ගීත දිදුලන්නේද නැත.

මෙවු භාව පූර්ණ ගාන්ධර්වයෙකු විසින් හෙල ගී කෙතට දායාද කල නීල මාණික්‍යක දීප්තිය වියකී යන අයුරු සියසින් දකින්නට තරම් මා එක් අතකින් අවාසනාවන්ත විය..තවත් අතකින් එහි දීප්තිය වියැකෙන්නට පෙර එ අගනා ඉන්ද්‍රනීල රශිමිය තෙවතාවක් විඳගන්නට තරම් මා පිං කර තිබුණි එ අතින් මා වාසනාවන්තය.පසුගිය වැනිදා නෙළුම් පොකුණේදී "ස" සමාප්ති සටහනේ පලමු පියවට සියසින් දකින්නට මා ගියෙමි.
මා "ස" ප්‍රසංගය ප්‍රථම වරට දකින්නේ..අසන්නේ..මීට මාස කීපයකට එපිටින් නෙළුම් පොකුණ ප්‍රසංග ශාලාවේදීමයි.එදින හදට දැනුනු කම්පනය තවමත් මා සිත දෝංකාර දෙයි.එතෙක් මා කිසිදාක වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් සජීවීව රසවිඳ තිබුනේ නැත. යමෙකු වේගයෙන් පහරක් ඔබේ සවන හරහා ගැසූ විට යම් වේලාවක ගතවන තෙක් ඔබට දැනෙන්නේ සිහි මද ගතියකි. ප්‍රසංගය නරඹා ආනන්ද කුමාරස්වාමි මාවතේ බසයක් එන තුරු නැවතී සිටි මා හා මගේ කලණ මිතුරා කෙතරම් ප්‍රකම්පනය වී සිටියේද යත් ඔහු හා මම අපේ නවාතැනට යන් තෙක් වචන කීපයකට වඩා හුවමාරු නොකලෙමු.අපට දැනුනේද උක්ත හා සමාන හැඟුමකි.ඒ මා ලද ප්‍රථම "ස" අත්දැකීමයි.

එයින් පසු නැවතත් "ස" නැරඹීමේ ව්‍යාදියෙන් ගොඩ ඒමට මට හැකි වූයේ නැත.

සම්බුද්ධ සත් ධර්ම අනුහසින්..
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්..
කමලාසනරූඩ සරස්වතී ආශිර්වාදයෙන්..
රසික ඔබ මිලනයෙන්..
ආනන්දජනක වූ..
මේ සොඳුරු රාත්‍රී යාමයේ..
සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා!!!!



මේ ඔහුගේ සොඳුරු ස්තෝත්‍ර ගායනයයි…මේ ඇරඹේන්නේ..නිර්ව්‍යාජ සිහල ගති ආරෙහි උද්දීපනයේ උදම් රළ පහරයි..විඳගන්න මේ පිපෙන රළ පිඩු සිසිල...

අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ..  ඒ ඇරඹුමයි.. සිහින සතක් දුටු බව කියන ඔහු ආදරය නම් වූ සිඟමන ගැන අපට පවසයි..ඔහු පවසන්නේ එක සිහිනයක් ගැන පමණි ඉතිරි සය ගැන අපට සිතන්නට ඔහු ඉතිරි කරයි..තෙවරක් උත්සහ කලද ඒ එකදු වතාවක හෝ ඉතිරි සයෙන් එකක් ගැන හෝ පවසන්නට තරම් ඔහු කාරුණික වූයේ නැත..නමුදු වික්ටර් මා ඔබ සමග අමනාප නැත..
සිහල දරුවෙකුගේ ප්‍රථම සෞන්දර්යාත්මක වින්දනය "දොයි දොයි දොයි..දොයිය පුතා..." ඔබට මට සිහි කරන්නට ඔහු සමත් වන්නේ ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ සිහල ගී කෙත අස්වැද්දූ සුන්දර මිනිසෙකු ගැන ඔබට මට පවසමිනි..

සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා..
දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට දිරි දී පණ දී මා දැඩි කල අම්මා..



මේ ලොව පහලවන උත්කෘෂඨම ආදරයේ උල්පත ගැන කියන්නා වූ තවත් ගීයක් මා අසා නැත..
දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමු වුනේ..මා මතක මං පෙත දිගේ ගෙන ගොස් මගේ පාසල් ප්‍රේමය ලඟ නතර කරන්නට තරම් ඒ පදවැල ප්‍රබල මන්දැයි මා විටෙක කල්පනා කරයි.

තනි තරුවේ....ඔබත් ඔතැන ඔහොම ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා..නෙතඟ නෙතඟ පැටලි පැටලි මෙතෙක් කලක් එක් වී පැමිණී...මේ තනි තරුව කවුදැයි ඔබ මම විපිලිසර වන අතර වික්ටර් කිසිවක් සිදු නොවූ ගානින්..
ප්‍රේමනීය තණ්හාව ..සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ යැයි කියා සිටී....

ඒ අතරින් සිහිල් සුලං රැල්ලක් හමා යන්නේ විඩාව නිවන්නටදැයි මා නොදන්නාඅ නමුත් මට නම් තිබූයේ විඩාවක් නොව පිපාසාවකි..ගී පිපාසාවකි.

තොටුපල අයිනේ කවුරුන් අත වැනුවත් මට කම් නැත..ඒ ගැන මගේ ඇති ඇල්මක් බැල්මක් නැත..
කොහේ සිට ඔබ පැමිණියේදෝ ..සිහිනයේ රැඳුනු  ඒ අප්සරා...අප්සරාව ගැන මා සිතමින් හිදිදී වික්ටර් ගීය අවසන් කර දමා තිබිනි..අවංකවම එවෙලේ නම් මට වික්ටර් සමඟ ඇති වූයේ යහපත් හැඟුමක් නම් නොවේ..
පෙම්වතෙකුගේ සිතක පෙම්වතිය දුටු විට ඇති වන ප්‍රහර්ෂය මෙතරම් කියා පාන ගීයක් තවත් නම් මට නැත.. ඒ ගැයෙන්නේ මගේම කුලුඳුල් ප්‍රේම ගීය යැයි මට සිතේ..ඒ ජවය ඒ..ජීවය වික්ටර්ටම ආවේනික වූ උත්තුන්ග හඬින් ඇසෙන විට මා වශීකෘතව බලා උන්නේ මේ ගයන්නේ මිනිසෙකු නොව ඒ වෙසින් සිටිනා පන්සිළු යැයි කුකුසිනි.

සඳ කැන් වැසිලා..ජීවිතයම සතු එකම සුවය හී සර පහරක වෙලෙනු දුටු විට පෘතත්ජන අපිට ඇතිවන හැඟුමයි මේ පවසන්නේ..
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ..අනුප්‍රාස රසයෙන් අනූන ඒ පද පෙල මා මන්මත් කරයි..

පා වී වළා. සමඟ මේ උත්තුංග මිනිසා අතින් මර්වින් පෙරේරා නම් තම සහෘදයාට පිදෙන තුති මල් මිට දුටු රසික කැල..අත්පොලසන් නද දෙන්නේ මානුෂ ගුණධර්ම කවදත් කොතැනත් අගය වන බව පෙන්වමිනි..

අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ සමගින් මුලු රසික සමූහයාම නැගී සිටිමින් අත්පොලසන් දෙන්නේ මේ උත්කෘෂ්ට මිනිසා අගය කල හැකි වෙන යමක් ඔවුන් සතුව නොමැති බැවිනි..මාද හැකි උපරිමයෙන් ඔහුට මගේ හද පිරි බැතිය පල කලෙමි..මා ආපසු එන්නට හැරුනේ සතුටින්ද..දුකින්දැයි මට හරි හැටි වැටහීමක් නොවීය..එක් දෙයක් සක් සුදක් සේ මට පැහැදිලි විය.."ස" නැවත අස්වද්දන්නට වික්ටර් රත්නායකයන් සූදානම් නැත..අපේ මතු පරපුරට එවූ ස්වර්ණමය අස්වැන්න අහිමි බවයි..
වික්ටර් රත්නායකයනි..ඔබට ආයුබොහෝ වේවා..!!

Tuesday, July 3, 2012

සසර සැරිසරන තෙක් ඔබ මගේ..ඔබ මගේ..

අදත්..උදෑසනම මගේ මුවඟ  රැඳුනු ගීයක් විය..පද සියල්ල මතකයට නොනැගුනු නමුත් කලකට පෙර මා මන්මත් කල ගීයක් බව නම් විස්වාසය.. මගේ ගී සමුච්චය පීරා බැලුවද අවාසනාවකට ගීය එහි නොවීය..අවසන මා එය සොයාගතිමි..ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ අසදෘශ පද රචකයානන්ගේ ගී මන්ජුසාවෙන් මිදුණු ගී බිඳුවකි මේ..

සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..මේ ඒ ගැන මගේ හැඟුමයි..මොහොතකට සවන් යොමන්න..


සැබවින්ම මෙය විරහ ගීයකි..නමුදු අද තිබෙන අවර ගනයේ විරහ ගී මෙන් මහා වැලපීමක් නොවේ..පෘතත්ජන සැවොම විදින්නා වූ ලෝක සත්‍යක් අරඹයා සිදුවන පෙම්වතෙකුගේ සිතක ඇතිවන තන්හා මුක්ත සිතුවිල්ල..ඔහු දවන මතකයන් ගැන ආත්ම ප්‍රකාශනයකි.

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ..
හඳ එලිය ගලා යයි රැලි ලමින් සැලි සැලී..

ලියක් දෙතොල් පෙති තද කොට සිටින්නේ හැඟුම් සිර කර ගන්නටයි..ලිහුනු දෙතොල් පෙති හඟවන්නේ හැඟුම් නිදහස් බවයි..තම ප්‍රේමයේ සින්හාවලෝකනයේ යෙදෙන මේ රචකයාට මතකයට නැගෙන්නේ තමා පෙම් කල ඒ තරුණියගේ ප්‍රහර්ශමත් සිනා ගොන්නයි..ඒ සිනා ගොන්න ඔහු දකින්නේ සිනා රැලින් පොපියන විල් තෙරක් ලෙසයි..මේ විල්තෙර පෑයූ සඳ කවුරුන්ද? ඒ ඔහුමයි..ඔහුගේ මතකය අතීතය වෙත දිව යයි..ඒ සිනා විලට සඳ එලියක් වෙමින්, මන්දස්මිතයක් වී රැලි සැදුවේ තමා බව ඔහු දනී..

මෙවන් සුව පෙර නොවිඳි..තුන් සිතම සලිත වී..
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

මෙවන් රසයක් ..හැඟුමක් පෙර කලක නොවිඳි බව ඔහුට ප්‍රත්‍යක්ශයය..එය ඔහු කෙතරම් ප්‍රක්ම්පනයට ලක් කලේද යත් තුන් සිතම සලිත වූ බවයි මේ පවසන්නේ..
සෑම පෘතත්ජනයෙක් සේම ..ඔබ මම මෙන්ම ඔහු එයට ලොද බඳී.. භව තණහාවෙන් යුතුව ඔහු එයට ලොද බඳී.. සියුම් වේදනාත්මක ස්වරයක් වික්ටර රත්නායකයන්ගෙන් මුසු වූ  සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ... කියා පාන්නේ එය යැයි මට හැඟේ..

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා.
මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා..

හිරු නිවී ගොස් ඇත..ඔහු ලොවට මෙන්ම මුලු ලොවටද හිරු නිවී ගොස් ඇතැයි ඔහුට හැඟේ..
තරු කඩා වැටෙන බවද දැනේ..ඒ සියලල අතරින් ඔහුට තමා පෙම් කල නුවන් යුග මැවී මැවී පෙනේ..
ඔහුගේ හද හඬා වැටෙයි..එ වූවද කෙතරම් සියුම් රූපක බාවිතයකින් වේදනාව විද්‍යාමාන කරන්නට ඔහු පරිස්සම් වෙයිද? වෛරය සිත් කොනකවත් නැත..වේදනාවෙන් වෙලී සිටින ඔහුට තවමත් ඒ නුවන් යුග ඔහුගේමය..සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...මේ සැබැවින්ම විරහවයි...

නා ගසක් දළු දමා වසන්තය එලඹිලා..
මද පවන්  රැල් වැදී සැලෙන විට
කැලඹිලා මට බලා ඉන්න බෑ
දෙතොල් ඔබෙ පෙනෙනවා..

අමු අමුවේ තමා පෙම් කල යුවතියගේ දෙතොල් නා දළු හා සමයි කීමට තරම්
ඔහු අවිචාරව්ත් නැත... වසන්තය එලඹුනු බව කියයි..එලඹුනු වසන්තය ඔහුයි..
මද පවනට සෙලවෙන දළු දකින ඔහුට සිත් කොනින් සිහි වන්නේ ඇයගේ දෙතොල්..
වේදනාව ඔහු දවාලයි..ඒ දෙතොල් ඔහුට දැන් හිමි නැත.. සිරුර දැවී යන බවක් ඔහුට හැඟේ..සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...මේ සැබැවින්ම විරහවයි...

යුග ගමන් පැමිනි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය
ලකුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ
පෙර ඇසුර හැඟෙනවා..

ඔහු අද යන්නේ වෙනදා දෙදෙනා එක්ව ගිය මගයි..සැබවින්ම මේ ඇවිද යන්නේ මතක මාවත දිගේ..
මතකය දිගේ ආ පස්සට ඇවිද යන ඔහුට පැටලුනු තැන් වැරදුණු තැන් සිහි වෙයි..ඇය වෙන්වන ලකුණු දුටු අයුරු සිහියට නැගෙයි..එ වු තැන් ඒ මොහොතේ නොදැනුනේ මන්දැයි ඔහුට සිතේ. දැන් ..කල හැක්කක් නොමැත..
ඇය හා ගෙවු ඒ සුන්දර මතකයන් සිහියට නැගේ..අද ඇය හිමි නැති බව පිලිගන්නට ඔහුගේ සිත සූදානම් නැත..සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ...මේ සැබැවින්ම විරහවයි...

අහස් තල පොලෝ තල
ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත්
ගතින් දෙදෙනෙකු වෙලා..

සැබෑ කතාන්දරය ගැන ඉඟි කරනුයේ මෙතැකින් පමණි..මෙතෙක් වේලා ඇය වෙන්ව ගිය බව කීවද ඒ මන්දැයි ඔහු කීවේ නැත අපද නොදනිමු.. ඇය ඔහු දමා ගියාද..වෙනයම් බලපෑමක් නිසා ඔවුන්ට වෙන්වනට සිදුවීද?
අහස පොලව ඔවුන්ට පොදුවු බව ඔහු කියයි..මේ පවසන්නේ මේ රුදුරු ලෝකය
ඔවුන්ට හරස් වී ඇති බවයි..ඒ කුලය..බලය..ධනය..හෝ ග්‍රහ තාරකා විය හැක..
දැන් ඔහු පවසයි..ඔවුන් තවමත් හදවතින් එකටය..ගතින් ඔවුන් වෙන්කොට ඇත..වෙන්වන්නට
ඔවුන්ට සිදුවී ඇත..විරහව ඔහුගේ තනි සිත වෙලා ගනී..සියොලඟ දැවී තැවී යයි..
මෙසේ වෙන්වනට සිදු උනත් මේ බවයේ..සිත එක දෙයක් තදින් කියා සිටී..
මේ සසර චක්‍රයේ සැරිසරන තෙක්..ඇය ඔහුගේ බවයි..කෙදිනක හෝ අමා නිවනින් සැනසෙන් දිනක මිස  ඇයගෙන් මිදෙන්නට මේ සිත සූදානම් නැත..මේ ඔබේත් මගේත්..ජීවන අත්දැකීමක්මයි....

Sunday, July 1, 2012

මම ගියා අවුකන බුදුන්ටත්..දෑස් දුන් මිනිසා සොයා…..

ජිවිතේ..මන් සටහන් අතර ඇවිද යන සඳ ..අනේකවිද දුක්ක දෝමනස්සයන්..ආනන්දයන් හමුවුවද..මෙවු සන්කීර්ණ සමාජ ක්‍රමවෙදය..ඒවායෙහි පුසුඹ විඳගන්නට..ඉඩ හසර..නොදෙයි...එකෙකු සිතුවමකින්..තවකෙකු..සප්ත ස්වරයෙන්..හෝ නර්තන ලතාවකින්..එවූ දෑ හැඟුම්..දැකුම් කරයි..මා එය අකුරු කරන්නට පෙලඹෙනුයේ..ඒ වු රිද්මයන්ගෙන් මා පොහොසත් නොමැති බැවිනි..අවසර මටත්..ලියන්නට..
මෑත කාලයේ බිහිවන ගේය පද රචනාවන් ගැන මාගේ එතරම් ඇල්මක් නොවන්නේ..ඒවා..වෙරලේ බිඳී පෙණපිඩු වන රළ මෙන් බැවිනි.. මා දකින අයුරින්.. එවූ රචනාවන් ජනසමාජය ආදරයෙන් වැලඳ නොගන්නේ..එවා ස්‍රාවකයාගේ ජිවිතය හා බද්ද නොවන බැවිනි..ගීතයක පද අතර කියැවෙන්නේ ඔබේත් මගේත් පොදු ජීවන රසයක අටපත එකට සිඳගත් සාරය නම්..එවූ ගීතය සමඟ ඒකාත්මික නොවන්නට කාරණා කිම..මෙවූ විපරියාස පද රචනා අතර..ඉඳ හිට මා ප්‍රකම්පනයට පත් කරන්නට සමත් ගේය පද රචනා හමු නොවනවා නොවේ..මේ එවන් වූවක් ගැන මගේ හැඟුමයි.
ප්‍රථම වරට මා සවනත මේ ගීය වැටෙන්නේ..නිවෙසේ සිට කොළඹ බලා එන අතරතුර බස් රථයකදී..සාමාන්යෙන් මෙවු බස් රථවල කොත්තු ගසනවා වන් ගීත මිස සන්වේදී ගීතයක් ඇසෙන්නේ නැතිම තරම්ය..එදා වටපිට ඝෝෂාව සමඟ පද පෙල හරි හැටි ඇසුනේ නැතත්..එ හඬ සුනිල් එදිරිසින්හයන්ගේ බවත් අතරින් පතර පද කීපයක් අහුලා ගන්නටත් මම සමත්වීමි..පසුව අපහසුවෙන් වුවත් ගීය යූ ටියුබ් අඩවියෙන් සොයා ගන්නට මා වාසනවන්ත විය…

"මේ තරම සියුමැලිද කලු ගල් හිතන්නටවත් බැරි නිසා.."

සමාධි බුදුරුව අවුකන බුදු රුව දකින ඔබේ මගේ මුවඟ මේ වදන් රැවු දුන්නා නොවේද..ඔබත් මමත් එලෙස විස්මයට පත්වූවා නොවේද? සීගිරි සිතුවම් දුටු..පෙර දවස හෙල කවියා..සීගිරි ලිය වැට්කොල් මලකට උපමා කලේ එවු විස්මය කියා ගත නොහැකි තැන විය හැක.. එවූ ජීව ගුණයක් අජීවී සෙල් කුලකට දෙන්නට තරම්..පිරිපුන් මිනිසා කවුද?
"මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා....."
පද රචකයා කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයෙකුදැයි මා නොදනිමි..ඔබට මට නොහැකි වුවත්..ඔහු මේ අපූර්ව මිනිසා සොයා ගොස් ඇත..එන්න එක්වන්න ඒ සොඳුරු පිලිසඳරට දෙසවන යොමන්නට..
“කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා..
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා..”
මේ සුන්දර මිනිසා අනෙකෙකු නොව ඔබේ මගේ මුතුන් මිත්තාය..නොමැවෙන්නේද ඔබට..අල්පේච්ච දිවියක නිවුනු රසය විඳින..පැදුරු කඩමාල්ලක වාඩිවී ගත විඩාව සන්සිඳිමින් සසර චක්‍රයේ අනිත්‍ය සිහිකරන අපූරු උත්තම මිනිසෙකු..
“ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා..
මා ඇසූ විට හිනැහුනා ඔහු ..තවම තනිකඩ යැයි කියා..”
යාත්‍රිකයා..මේ සොඳුරු හුදකලාවට ආගන්තුකයෙකි..ඔහුගේ ප්‍රශ්න වැලේ නිමාවක නැත..ඒ අතර මේ මිනිසාගේ සන්වේදීම මතකයක් අවදි කරන්නටද..යාත්‍රිකයා අමතක කරනේ නැත.. මේ සුන්දර මිනිසා ජිවිතයේ සරතැස අවබෝධ කොට ඇති බව මේ පද පෙල මොනවට කියා පායි... අවාසනාවට මේ සන්වාදයේ ඉතිරිය අසා විමසා දැනගන්නට අප හට වාසනාව නැත..පිපාසිතයි..ඉතිරිය අසන්නට....
යාත්‍රිකයා ගැන මට කිසිවක් කිව නොහැක..මම සිතුවිලි ගොන්නක අතරමන් වීයෙමි..මේ ගීය මා පියවි ලොවින් ඔබ්බ්ට තල්ලු කරන්නට සමත් විය..

ගීයේ පද රචකයානන්ටත්..සුනිල් එදිරිසින්හයන්ටත් උපහාරයක්ම වේවා.!!