Saturday, July 21, 2012

"ස" ගී කෙත පුරන් වන්නට හරිනු දුටුවෙමි…

මා සුභාවිත ගීතයෙහි ඇලුනේ අද නොවේ අමරදේවයන්ගේ "මින්දද හී සර" "කුමරියක පා සලඹ සැලුනා.." මා ඒ මාවතේ කැන්දාගෙන ඒමට පාර කැපුවෝය.. වික්ටර් රත්නායකයන්..සුනිල් එදිරිසිංහයන් , නන්දා මාලනිය..මා තව තවත් එහි ගැඹුරටම කිමිදීමට බල කලෝය. ශබ්ධ රසය ගීයක් විශයෙහි මහත් බලපෑමක් ඇති කරයි..නමුදු සුභාවිත ගීයෙහිදී අර්ථ රසය ශබ්ධ රසය පරදා නැගෙන බව මගේ හැඟුමයි. එයිනුදු සිහල ගීතය තුල අමරදේවයන්ගේ,නන්දා මාලනියගේ,වික්ටර් රත්නායකයන්ගේ,සුනිල් එදිරිසිංහයන්ගේ එයිනුදු නොනැවතී කරුණාරත්න දිවුල්ගනේ දක්වාම දිව එන විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවේ ගැයෙන් පද වැල් උක්ත කරුණට දෙස් දෙයි. එය හුදෙක් ගායකයාගේ හෝ ගායිකාවගේ වික්‍රමයක්ම නොව පද රචකයාද එහි ලා මහත් කාර්යයක් ඉටු කරනු ලබයි. නමුදු ගායකයා හෝ ගායිකාව එක කරන භාව දීප්තිය නොවන්නට මෙවූ ගීත දිදුලන්නේද නැත.

මෙවු භාව පූර්ණ ගාන්ධර්වයෙකු විසින් හෙල ගී කෙතට දායාද කල නීල මාණික්‍යක දීප්තිය වියකී යන අයුරු සියසින් දකින්නට තරම් මා එක් අතකින් අවාසනාවන්ත විය..තවත් අතකින් එහි දීප්තිය වියැකෙන්නට පෙර එ අගනා ඉන්ද්‍රනීල රශිමිය තෙවතාවක් විඳගන්නට තරම් මා පිං කර තිබුණි එ අතින් මා වාසනාවන්තය.පසුගිය වැනිදා නෙළුම් පොකුණේදී "ස" සමාප්ති සටහනේ පලමු පියවට සියසින් දකින්නට මා ගියෙමි.
මා "ස" ප්‍රසංගය ප්‍රථම වරට දකින්නේ..අසන්නේ..මීට මාස කීපයකට එපිටින් නෙළුම් පොකුණ ප්‍රසංග ශාලාවේදීමයි.එදින හදට දැනුනු කම්පනය තවමත් මා සිත දෝංකාර දෙයි.එතෙක් මා කිසිදාක වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් සජීවීව රසවිඳ තිබුනේ නැත. යමෙකු වේගයෙන් පහරක් ඔබේ සවන හරහා ගැසූ විට යම් වේලාවක ගතවන තෙක් ඔබට දැනෙන්නේ සිහි මද ගතියකි. ප්‍රසංගය නරඹා ආනන්ද කුමාරස්වාමි මාවතේ බසයක් එන තුරු නැවතී සිටි මා හා මගේ කලණ මිතුරා කෙතරම් ප්‍රකම්පනය වී සිටියේද යත් ඔහු හා මම අපේ නවාතැනට යන් තෙක් වචන කීපයකට වඩා හුවමාරු නොකලෙමු.අපට දැනුනේද උක්ත හා සමාන හැඟුමකි.ඒ මා ලද ප්‍රථම "ස" අත්දැකීමයි.

එයින් පසු නැවතත් "ස" නැරඹීමේ ව්‍යාදියෙන් ගොඩ ඒමට මට හැකි වූයේ නැත.

සම්බුද්ධ සත් ධර්ම අනුහසින්..
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්..
කමලාසනරූඩ සරස්වතී ආශිර්වාදයෙන්..
රසික ඔබ මිලනයෙන්..
ආනන්දජනක වූ..
මේ සොඳුරු රාත්‍රී යාමයේ..
සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා!!!!



මේ ඔහුගේ සොඳුරු ස්තෝත්‍ර ගායනයයි…මේ ඇරඹේන්නේ..නිර්ව්‍යාජ සිහල ගති ආරෙහි උද්දීපනයේ උදම් රළ පහරයි..විඳගන්න මේ පිපෙන රළ පිඩු සිසිල...

අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ..  ඒ ඇරඹුමයි.. සිහින සතක් දුටු බව කියන ඔහු ආදරය නම් වූ සිඟමන ගැන අපට පවසයි..ඔහු පවසන්නේ එක සිහිනයක් ගැන පමණි ඉතිරි සය ගැන අපට සිතන්නට ඔහු ඉතිරි කරයි..තෙවරක් උත්සහ කලද ඒ එකදු වතාවක හෝ ඉතිරි සයෙන් එකක් ගැන හෝ පවසන්නට තරම් ඔහු කාරුණික වූයේ නැත..නමුදු වික්ටර් මා ඔබ සමග අමනාප නැත..
සිහල දරුවෙකුගේ ප්‍රථම සෞන්දර්යාත්මක වින්දනය "දොයි දොයි දොයි..දොයිය පුතා..." ඔබට මට සිහි කරන්නට ඔහු සමත් වන්නේ ප්‍රේමකීර්තිද අල්විස් නම් වූ සිහල ගී කෙත අස්වැද්දූ සුන්දර මිනිසෙකු ගැන ඔබට මට පවසමිනි..

සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා..
දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට දිරි දී පණ දී මා දැඩි කල අම්මා..



මේ ලොව පහලවන උත්කෘෂඨම ආදරයේ උල්පත ගැන කියන්නා වූ තවත් ගීයක් මා අසා නැත..
දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමු වුනේ..මා මතක මං පෙත දිගේ ගෙන ගොස් මගේ පාසල් ප්‍රේමය ලඟ නතර කරන්නට තරම් ඒ පදවැල ප්‍රබල මන්දැයි මා විටෙක කල්පනා කරයි.

තනි තරුවේ....ඔබත් ඔතැන ඔහොම ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා..නෙතඟ නෙතඟ පැටලි පැටලි මෙතෙක් කලක් එක් වී පැමිණී...මේ තනි තරුව කවුදැයි ඔබ මම විපිලිසර වන අතර වික්ටර් කිසිවක් සිදු නොවූ ගානින්..
ප්‍රේමනීය තණ්හාව ..සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ යැයි කියා සිටී....

ඒ අතරින් සිහිල් සුලං රැල්ලක් හමා යන්නේ විඩාව නිවන්නටදැයි මා නොදන්නාඅ නමුත් මට නම් තිබූයේ විඩාවක් නොව පිපාසාවකි..ගී පිපාසාවකි.

තොටුපල අයිනේ කවුරුන් අත වැනුවත් මට කම් නැත..ඒ ගැන මගේ ඇති ඇල්මක් බැල්මක් නැත..
කොහේ සිට ඔබ පැමිණියේදෝ ..සිහිනයේ රැඳුනු  ඒ අප්සරා...අප්සරාව ගැන මා සිතමින් හිදිදී වික්ටර් ගීය අවසන් කර දමා තිබිනි..අවංකවම එවෙලේ නම් මට වික්ටර් සමඟ ඇති වූයේ යහපත් හැඟුමක් නම් නොවේ..
පෙම්වතෙකුගේ සිතක පෙම්වතිය දුටු විට ඇති වන ප්‍රහර්ෂය මෙතරම් කියා පාන ගීයක් තවත් නම් මට නැත.. ඒ ගැයෙන්නේ මගේම කුලුඳුල් ප්‍රේම ගීය යැයි මට සිතේ..ඒ ජවය ඒ..ජීවය වික්ටර්ටම ආවේනික වූ උත්තුන්ග හඬින් ඇසෙන විට මා වශීකෘතව බලා උන්නේ මේ ගයන්නේ මිනිසෙකු නොව ඒ වෙසින් සිටිනා පන්සිළු යැයි කුකුසිනි.

සඳ කැන් වැසිලා..ජීවිතයම සතු එකම සුවය හී සර පහරක වෙලෙනු දුටු විට පෘතත්ජන අපිට ඇතිවන හැඟුමයි මේ පවසන්නේ..
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ..අනුප්‍රාස රසයෙන් අනූන ඒ පද පෙල මා මන්මත් කරයි..

පා වී වළා. සමඟ මේ උත්තුංග මිනිසා අතින් මර්වින් පෙරේරා නම් තම සහෘදයාට පිදෙන තුති මල් මිට දුටු රසික කැල..අත්පොලසන් නද දෙන්නේ මානුෂ ගුණධර්ම කවදත් කොතැනත් අගය වන බව පෙන්වමිනි..

අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ සමගින් මුලු රසික සමූහයාම නැගී සිටිමින් අත්පොලසන් දෙන්නේ මේ උත්කෘෂ්ට මිනිසා අගය කල හැකි වෙන යමක් ඔවුන් සතුව නොමැති බැවිනි..මාද හැකි උපරිමයෙන් ඔහුට මගේ හද පිරි බැතිය පල කලෙමි..මා ආපසු එන්නට හැරුනේ සතුටින්ද..දුකින්දැයි මට හරි හැටි වැටහීමක් නොවීය..එක් දෙයක් සක් සුදක් සේ මට පැහැදිලි විය.."ස" නැවත අස්වද්දන්නට වික්ටර් රත්නායකයන් සූදානම් නැත..අපේ මතු පරපුරට එවූ ස්වර්ණමය අස්වැන්න අහිමි බවයි..
වික්ටර් රත්නායකයනි..ඔබට ආයුබොහෝ වේවා..!!

1 comment:

  1. නියම වැඩක් සහෝදරයා.දිගටම කරගෙන යන්න.මගේ සුබ පැතුම්.
    "වික්ටර් රත්නායකයනි..ඔබට ආයුබොහෝ වේවා..!!"

    ReplyDelete