Thursday, July 28, 2016

ලා දළු බෝ පත්..විශ්වීය ප්‍රේමයක සමුගැන්මේ සටහන..

බෞද්ධ සාහිත්‍යයේ එන මා සිත කම්පනයට පත් කල කාන්තා චරිතය යශෝධරාව බැවු මා හට නිසැකය.
ඒ ඇය වූ කලී අභිඤ්ඤා ලාභීනියක් නිසා හෝ බෝසතුන්ගේ අප්‍රමාණ සහායිකාව වූ පමණින් නොවේ.
මහපොළව කම්පා කලහැකි ඇගේ නිකැලැල් ආදරයක හා කැපවීමක විසල් පරිමාව පෘතත්ජන මගේ ඕලාරික මනසට දරා ගත නොහැකි බැවිනි.
සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් ඇය බෝසතුන් හා මේ රුදුරු සසර ගමන් එන්නීය. මොහොතක් සිතන්න බෝසතුන් දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබන විට ඇයට තෙරුවණ් සරණ  ලැබී නම් ඒ ආත්මබැවුම ඇයට සසර ගමන කෙලවර කරන්නට තිබුණි එහෙත් ඇය බෝසතුන් ගෞතම නමින් බුදුබව ලබන තෙක්ම සෙවනැල්ල මෙන් පසුපස එන්නීය. බෝසතුන්ගේ සියලු පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා පුරන්නට ඇයගේ දරුවන් , ඇස් ඉස් මස් ලේ සියල්ල දන් දෙන්නීය. තම සැමියාගේ උත්තරීතර පරමාර්ථය වෙනුවන් ඈ සතු සියල්ල කැප කරන්නීය.


ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...

අවසන, ගිහිගෙය හැර ගිය තම හිමිට බැල්මකනිදු නෝක්කාඩුවක් නොකියන්නට ඇය වගබලා ගනී.
යසොදරාවත ඒ වූ ගුණ මෙසේ පවසයි.

මොක් සැප පතා වසනා ලෝ සතා සිතා
දුක් දැක සසර ආළය හළ හොතා යුතා
දුක් ලැබ නෙ දන රැස් කරනා සිතා යුතා
දුක් කර කල් නොයිඳ පින් කල යොතායුතා

අසමින මේ දහම් අඟනෝ ගෙන සිත ට
යටැසින රවා වත් නො බලා තම හිමි ට
වසමින රන් රස සෙ එකඟින අදර කො ට
උපදිනු යසෝදර බිසවුන් ලෙස සොඳ ට

මෙවූ කාරණා සියල්ලට අතර මා සිත ප්‍රකම්නය කරනුයේ මහ රහත්  මෙහෙණියක් වූ ඇයගේ ජීවිතයේ අවසාන දින ගැන කියවෙන ථේර ආපදානයේ එන ඒ කොටස් වල සිංහල පරිවර්තනය කියවන විටය. (එහිලා පූර්ණ ගෞර්වය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට හිමිවිය යුතුය). අවුරුදු 78 ක මහළු වියේ පසුවන ඇය තථාගතයන් වහන්සේ ජීවමානව සිටිද්දී පිරිනිවන් දකින්නට තීරණයකට එලඹෙනවා. භව නෙත්තිය මුලිනුපුටා දැමූ ඇය වන් රහත් තෙරණියකගේ  සිතක අපේ කිලිට් සිත් වල මෙන් කෙලෙස් පහල නොවූවද ඒ අකිරිය සිත් කමපාවට පත් නොවීයයි මට සිතෙන්නේ නැත. කල්ප ලක්ෂ ගනනක  අප්‍රමාණ ප්‍රේමයක සිත් පරම්පරාවන් කොතරම් ඇත්දැයි මට සිතේ. පහණක් සේ නිවී යන්නට අවසර පතන යශෝධරාව..

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ..

මේ ඇය සසර අවසන සමුගැන්මය අවසර පතන අයුරුයි..
[උපුටනය]
"ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ජීවිතයේ අවසාන භාගයට මම මේ පැමිණ සිටින්නේ. මහ වීරයන් වහන්ස, “මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සංසාරය පුරාවටම මම ඔබ වහන්සේ සමඟ මේ ගමන ආවා. ඔබවහන්සේ ගැන මගේ සිත කය වචනය තුළින් යම් වරදක් වූවානම් ඒ සියලු වරදට මට සමාව ලැබේවායි"

එවිට තථාගතයන් වහන්සේ වදාළා යශෝධරා ඔබ තථාගත ශාසනයේ අනුශාසනා අනුව කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන් අවබෝධ කළ තැනැත්තියක්ද කියා මේ සිව්වනක් පිරිසේ කාටහරි යම් සැකයක් ඇතිවුනානම් ඒ සැකය නැති කිරීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර දක්වා පෙන්වන්නැයි වදාළා.

එවෙලෙහි යශෝධරා තෙරණිය පවසනවා ‘මහවීරයන් වහන්ස ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රි ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මම යශෝධරා වෙමි. ගිහි ගෙයි දී ඔබගේ බිරිඳ වී සිටියෙමි. මහ වීරයන් වහන්ස, මම එක්ලක්ෂ අනූසහසක් කාන්තාවන්ට නායිකාව වී සිටියා. මේ ලෝකයේ සුන්දරත්වය තුළ තථාගතයන් වහන්සේ හැරුණු කොට සුන්දරම අග්‍ර රූපයෙන් යුක්ත වූයේ මායි’.

ඒ වගේම කියනවා මහ මුනින්ද්‍රයන් වහන්ස, දිව්‍ය ශ්‍රවණයෙන්ද අනුන්ගේ සිත් දක්නා නුවණින්ද පෙර විසූ කඳ පිළිබඳ දක්නා නුවණින්ද දිවස් ඤාණයෙන්ද යුක්තවූ ෂීනාෂ්වර තැනැත්තියක් වෙමි. මම අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන පටිසම්භිදා ඤාණය ඔබවහන්සේගේ ශාසනය තුළින් ලැබුවෙමි. ඒ නිසා මහ වීරයන් වහන්ස මා විසින් බොහෝ පින් රැස්කර ගත්තා. මා විසින් අනාචාරය දුරුකොට ඔබවහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජාකළා. කල්ප දහස් ගණන් ඔබවහන්සේ පාරමි ධර්ම පුරද්දී මම බිරිඳ වෙලා හිටියා. ඒ බොහෝ අවස්ථාවලදී මාව දන් දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවකදී මම ද්වේෂ සහගත සිතක් ඇතිකර ගත්තේ නැහැ. මහ මුනින්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ පාරමි පුරද්දී නොයෙක් කල්ප ගණන් සිය දහස් ගණන් ලක්ෂ ගණන් ආත්මවලදී යක්ෂ රාක්ෂයන්ට මාව දන් දීල තිබෙනවා. ඒත් මම කිසිම අවස්ථාවකදී ඔබවහන්සේ කෙරෙහි නපුරු සිතක් ඇතිකර ගත්තේ් නැහැ. නොයෙක් අවස්ථාවල දී මගේ ජීවිතය මම ඔබහන්සේ උදෙසා පරිත්‍යාග කොට තිබෙනවා. සිංහයන්, ව්‍යඝ්‍රයන්ගෙන් කරදර වූ අවස්ථාවලදී ඔබ වහන්සේගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මම ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා.

මේ විදිහට සංසාර ගමන මතක් කරමින් නැවත වදාළා ඔබ වහන්සේ සම්බුද්ධත්වය උදෙසා පාරමි පුරද්දී යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ශරීරයේ තිබුණු සියලු වස්ත්‍ර ආභරණ සියල්ලම නොසඟවා ඔබවහන්සේ ඉදිරියේ තමා ‘ස්වාමිනි මෙයත් පූජා කරන්න’ කියා කිව්වා.

කෙත්වතු, දූ පුතුන් සියල්ල, පරිත්‍යාග කරන කල්හි ගණන් කළ නොහැකි ප්‍රමාණයේ අත්, අස්, ගව, මහේෂ්‍ය ආදී සේවකයෝ ද ඔබවහන්සේ බුදුබව පිණිස පූජාකරන කල්හි ඒ සියල්ලටම මමත් එකඟ වුණා. යාචකයන්ට දන් දෙමියි ඔබවහන්සේ මට යම්කිසි බසක් පැවසුවාද මමත් ඒ සඳහා සූදානම් වෙලා හිටියා. මගේ සිතේ ඒ සඳහා කිසිදු දොම්නසක් හට ගත්තේ නැහැ. මහ වීරයාණන් වහන්ස, ඔබවහන්සේ පාරමි පුරද්දී විවිධ ජාතිවල බොහෝ දුක්පීඩා වින්දා. ඒත් කවදාවත්ම මම ඔබ වහන්සේ කෙරෙහි දොම්නසක් ඇතිකර ගත්තේ නැහැ.
[උපුටනය අවසන්]

කෙතරම් නිරාමිස , වීතරාගී නිවුනු සමුගැන්මක්ද.. කරුණාරත්න දිවුල්ගනයන්ගේ ලයාන්විත හඬ පසුබිමින් මුසු වූ විට මේ සමුගැන්ම ඔබේ නෙත් කඳුලින් පුරවන්නට සමත් වුවහොත් පුදුම නොවන්න. මේ විශ්වීය ප්‍රේමයක සමුගැන්මේ සටහනයි..